රුසියානු ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි. ඊයේ (22) රාත්‍රියේ සහ අද අලුයම මෙම ප්‍රහාර එල්ල වූ අතර, කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් ආක්‍රමණ අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරිණි.
පසුගිය සඳුදා යුක්රේනය විසින් රුසියාවේ වොරොනෙෂ් (Voronezh) කලාපයේ මිසයිල නිෂ්පාදන කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර, එයට ප්‍රතිචාර වශයෙන් රුසියාව මෙම ගුවන් ප්‍රහාර දියත් කරන්නට ඇතැයි සැලකේ.
මේ අතර, යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති සහ සැපයුම් ජාල ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර හේතුවෙන් රුසියාව තුළ උග්‍ර ඉන්ධන හිඟයක් උද්ගතව ඇත. මෙම අර්බුදය රුසියාවේ නිරිතදිග සයිබීරියාවේ පිහිටි ඔම්ස්ක් (Omsk) ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වී තිබේ. එහි ඉන්ධන හිඟය පාලනය කිරීම සඳහා වාහනයකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට සහ කෑන්වලට ඉන්ධන ලබා ගැනීම තහනම් කිරීමට ඔම්ස්ක් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.
තවද, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ, බැරන්ට්ස් සහ නෝර්වීජියානු මුහුදු කලාපවලදී රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානා දූත මෙහෙයුමක නිරතව සිටියදී, විදේශීය ප්‍රහාරක ජෙට් යානා මගින් ඒවා පසුපස හඹා යමින් ආරක්ෂාව ලබා දුන් බවයි.
යුක්රේන-රුසියානු යුද්ධය මේ වන විට පස්වන වසරටත් ඇදෙමින් පවතින අතර, දෙපාර්ශවයම අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටී. යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි බටහිර මිත්‍ර පාක්ෂිකයින්ගේ සහාය බලාපොරොත්තුවෙන් සාම ගිවිසුමකට යාමට උත්සාහ කරන අතරතුර, රුසියාව ද තවදුරටත් දැවැන්ත ප්‍රහාර සඳහා සූදානම් වන බවට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.
















