මොරගහකන්ද පාලම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගෙන තිබේ. නව පාලම ඉදිකරන ස්ථානය සහ දැනට පවතින තාවකාලික පාලම එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. “අලුතෙන් හදන එකයි තාවකාලික එකයි එක ළඟම තියන්න බැහැ.. ඇයි ඒක කලින් තේරුම් ගත්තේ නැත්තේ?” යනුවෙන් විමසමින් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළ අතර ඉදිකිරීම් කටයුතුවලදී සිදුවී ඇති සැලසුම් සහගත නොවන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පවතින ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස නව පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය ස්ථිර යෝජනාවන් සහ මගපෙන්වීම් ජනාධිපතිවරයා විසින් නිලධාරීන් වෙත ලබා දෙන ලදී. මොරගහකන්ද පාලම හරහා ගමනාගමනය සිදු කරන ජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් නිකුත් විය. ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය සහ සැලසුම් පිළිබඳව නිරන්තර අධීක්ෂණයක පසුවන ලෙස ද අදාළ අංශ වෙත දන්වා සිටියේය.














