නව මහවැලි කලාපයක් ලෙස හැඳින්වෙන මොරගහකන්ද ජලාශය මඟින් රජරට වැව් බැඳි රාජ්‍යයට මෙන්ම මොරගහකන්ද ගොවි පවුල් 7,000කට වැඩි සංඛ්‍යාවකට මහවැලි ජලය සපයමින්, වී වගාවට අමතරව සාර්ථක මිරිස් වගාවකින් ගොවියන් ලක්ෂපතියන් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනු දැකගත හැකි වී තිබේ. තමන්ව ලක්ෂපතියන් කිරීමට මඟපෙන්වූ මොරගහකන්දේ මහවැලි නිලධාරීන් ගොවි ජනතාව හඳුන්වන්නේ “මිහිපිට දෙවියන්” ලෙසිනි.
මොරගහකන්ද තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි සුජිත් චතුර රත්නායක මහතා සඳහන් කළේ, මුලදී මෙම වගාව සම්බන්ධයෙන් බයක් ඇති වුවද, මහවැලි නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ විශ්වාසයෙන් යුතුව ආරම්භ කළ මිරිස් වගාවෙන් එක කන්නයකදී ලක්ෂ ගණනක මුදලක් උපයා ගැනීමට හැකි වූ බවයි. කෘෂි උපකරණ, බෙහෙත් සහ පොහොර මිල අඩු කරන්නේ නම් රටට අවශ්‍ය පරිභෝජනය සම්පූර්ණයෙන්ම ලබා දීමට ගොවීන්ට හැකි බවත්, මහවැලි නිලධාරීන්ගේ අවංක සේවය නිසා පමණක් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













