බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල වතු ප්‍රදේශයේ ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මස 16 වන දින ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
හාලිඇල මොරගොල්ල වත්ත ප්‍රදේශයේ 2011 වසරේ සිදු වූ නායයෑම හේතුවෙන් අවතැන් වූ පවුල් 54ක් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය මුල්වරට ආරම්භ කර තිබුණද, විවිධ ආර්ථික සහ කළමනාකරණ ගැටලු හේතුවෙන් වසර ගණනාවක් පුරා එය අතරමග ඇනහිට තිබිණි. 2025 වසර වන විටත් එහි එකදු නිවසක් හෝ සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කිරීමට හැකිව නොතිබුණු අතර, ඇතැම් පවුල් අත්තිවාරම් පමණක් ඉදිකර ගනිමින් වසර 14කට ආසන්න කාලයක් දැඩි පීඩාවන්ට මුහුණ දී සිටියහ.
කෙසේ වෙතත්, වත්මන් රජයේ සෘජු මැදිහත්වීම සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක ‘මලෛයග මහිල්චිචි’ වැඩසටහන ඔස්සේ මෙම දිගුකාලීන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගැනුණි. ඒ අනුව, පළමු අදියර යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32ක පිරිවැයකින් පවුල් 24ක් සඳහා ඉදිකෙරෙන නිවාස මේ වන විට අවසන් අදියරේ පවතියි.
දෙවන අදියර යටතේ, වසර ගණනාවක් පුරා අත්හැර දමා තිබූ බැවින් බිත්ති පුපුරා යාම හා අත්තිවාරම් දිරාපත් වීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබූ ඉතිරි නිවාස 30 නැවත ගොඩනඟා සම්පූර්ණ කිරීමට අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ඉදිකිරීම් සහ මාර්ග, රැඳවුම් බැමි මෙන්ම ජල අපවහන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කාර්යක්ෂමව අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ සෘජු ශ්‍රම දායකත්වය ලබා දීමට නියමිතය. මීට අමතරව, නිවාසලාභීන් සඳහා විදුලි පහසුකම් ලබා දී ඇති අතර, ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස රුපියල් මිලියන 9.9ක පිරිවැයකින් යුතු නව ජල සැපයුම් ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ಬදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා අවතැන් වූ පවුල් 54කට සුරක්ෂිත නිවසක අයිතිය සහ ගෞරවනීය ජීවිතයක් තහවුරු කිරීම රජයේ අපේක්ෂාව වේ.
















