මොරටුව, වේල්ස් කුමරි විද්‍යාලය අසලදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
අද (19) සවස් කාලයේ මොරටුවේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෙම මෝටර් රථයේ රියදුරුට එහි පාලනය ගිලිහී ගොස් ඇත. අනතුරුව රථය මාර්ගයේ මැද තිබූ ආරක්ෂිත වැටේ ගැටී, විරුද්ධ දෙසින් වූ මංතීරුවට ඇතුළු වී පෙරලී ගොස් තිබේ.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ රථයේ ගමන් ගත් සිව්දෙනාට කිසිදු බරපතල තුවාලයක් සිදුව නොමැති බව වාර්තා වේ. මෙම අනතුර හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිව තිබූ අතර, මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














