එබෝලා (Ebola) වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස, පසුගිය දින 21 තුළ කොංගෝවේ සංචාරය කර ඇති විදේශිකයින්ට කැනඩාවට ඇතුළුවීම තහනම් කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) උපදෙස්වලට පටහැනිව කැනඩාව මෙම පියවර ගෙන ඇත. සංචාරක හෝ වෙළඳ සීමාවන් පැනවීම මගින් වසංගත පාලනය කිරීම අපහසු වන බවත්, එය සමාජය තුළ අනිසි බියක් සහ වෙනස් කොට සැලකීම් ඇති කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එබෝලා වෛරසය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බවද ඔවුන් පවසයි.
කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, මෙම සීමා කිරීම් මගින් කැනේඩියානු පුරවැසියන් සඳහා ඇති විය හැකි මහජන සෞඛ්‍ය අවදානම අවම කර ගත හැකි බවයි.
මෙම නව රෙගුලාසි හෙට (20) දින රාත්‍රී 11:59 සිට බලාත්මක වීමට නියමිතය.
මේ වන විට කොංගෝවේ එබෝලා රෝගීන් 2,100කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 828ක් වාර්තා වී ඇත. මීට පෙර පසුගිය සතියේදී ඇමරිකා එක්සත් ජනපදය ද කොංගෝවේ සංචාරය කළ අයට වාණිජ ගුවන් ගමන් හරහා රටට ඇතුළුවීම වළක්වන පියවර හඳුන්වා දෙන ලදී.















