මොරටුව, කොරලැවැල්ල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනයෙන් ගිලිහී ගාලු පාර මැද දූපතේ ආරක්ෂිත වැටවල් ද කඩාගෙන ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් වඩු මඩුවක ගැටී නතර වී තිබේ. මෙම අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ යුවළක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මොරටුව පොලිසිය පවසයි.
කළුතර ඩිපෝවට අයත් මෙම බස් රථය කොළඹ සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට ඇතිවූ දැඩි කැස්සක් සමඟ සිහිසුන් වීමෙන් බස් රථය පාලනයෙන් ගිලිහී ඇති අතර, මැද දූපතේ යකඩ වැටවල් 6කට ද දැඩි හානි සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 10 දෙනෙකු පමණ සිටියද ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ. සිදුවීමට ගිය මහා විනාශයක් නූලෙන් වැළකී ගිය බවත්, මොරටුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවත් සඳහන් වේ.














