මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කර තිබුණද, ග්‍රාමීය ක්‍රීඩා සමාජ සහ පාසල් වෙත ක්‍රීඩා උපකරණ ලබාදීම සඳහා පවතින දැඩි නිර්ණායක ඊට බාධාවක් වී ඇති බව චානක මඩුගොඩ මහතා පවසයි.
පසුගිය වසරවලදී මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් තම ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ග්‍රාමීය ක්‍රීඩා සමාජ සහ පාසල් ක්‍රීඩා කටයුතු ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් බව ඔහු සිහිපත් කළේය. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින සීමා කිරීම් හේතුවෙන් එම දායකත්වය ලබාදීම අපහසු වී ඇති බව මඩුගොඩ මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල වොලිබෝල් සහ පාපන්දු වැනි මූලික ක්‍රීඩා උපකරණවල පවා හිඟයක් පවතින බවත්, එම තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය. එබැවින්, මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන කිසිදු බාධාවකින් තොරව සෘජුවම ගමේ ක්‍රීඩා සමාජ සහ පාසල් වෙත ලබාදිය හැකි විධිමත් සහ ශක්තිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.















