ශ්‍රී ලංකාවේ වත්මන් දුම්වැටි බදු ප්‍රතිපත්තිය තුළ පවතින බරපතළ අක්‍රමිකතා හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ සියලු භාණ්ඩ හා සේවා මත වැට් බදු ඇතුළු බදු ප්‍රතිශතයන් විශාල වශයෙන් ඉහළ නංවා තිබියදී, දුම්වැටි සඳහා වන බදු ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතාවලට අනුකූලව ක්‍රියාත්මක නොවීම දැඩි විවේචනයට ලක්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් දුම්වැටි සඳහා නිර්දේශ කර ඇති 75%ක අවම බදු මට්ටම අභිබවා යාමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර, වත්මන් බදු ප්‍රතිශතය පවතින්නේ 67%ත් 69%ත් වැනි පහළ අගයකයි. මෙම ප්‍රතිපත්තිමය දුර්වලතාවය හේතුවෙන් පෙනෙන ප්‍රතිඵලය වන්නේ, පසුගිය දශකය තුළ සිගරට් අලෙවිය 54%කින් පහත වැටී තිබුණ ද, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%ක දැවැන්ත වර්ධනයක් අත්කර ගැනීමයි. රජයට ලැබිය යුතු බදු ආදායම මෙලෙස පෞද්ගලික සමාගම්වල ලාභාංශ ලෙස ගලා යාම ජාතික ආර්ථිකයට කරන ලද බරපතළ අසාධාරණයක් බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි. මහජන සෞඛ්‍යයට සහ ජාතික භාණ්ඩාගාරයට සිදුවන මෙම හානිය පාලනය කිරීම සඳහා කඩිනම් සහ විනිවිදභාවයෙන් යුතු පාර්ලිමේන්තු මැදිහත්වීමක් අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ.
















