එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති මහතා සිය විරෝධය පළ කර තිබේ. හුදෙක් සමහර ගීත හෝ කලාත්මක ප්‍රකාශන පදනම් කරගනිමින් යළි රට තුළ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවන්නේ යැයි තර්ක කිරීම පදනම් විරහිත බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රට තුළ නැවත කිසිදා සන්නද්ධ සංවිධාන බිහි නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්ථිරවම ප්‍රකාශ කර ඇති පසුබිමක, කලාවට වැරදි පැටවීම නැවැත්විය යුතු බව ඔහු අවධාරණය කරයි. කලාව, සාහිත්‍යය සහ සංගීතය යනු මිනිසුන්ගේ අතීත මතකයන් සහ හැඟීම් සමාජගත කරන මාධ්‍යයක් පමණක් බවත්; දෙමළ ජනතාව මුහුණ දෙන ඉඩම්, අතුරුදහන් වූවන් සහ දේශපාලන බලය බෙදා හැරීම වැනි මූලික ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තෙක් මෙවැනි කලාත්මක ප්‍රකාශනයන් එළිදැක්වීම සාමාන්‍ය ස්වභාවයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















