මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිතව වනජීවීන්ට සිදුවන හානි අවම කිරීම සහ ගුවන්තොටුපළ මෙහෙයුම් වඩාත් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අද (27) අත්සන් තැබිණි.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩ බලන සභාපතිවරයා විසින් මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
ගුවන්තොටුපළ අවට වන සතුන් ගැවසීම හේතුවෙන් සිදුවන අනතුරු අවම කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් ගුවන් යානා සහ වන සතුන් අතර ගැටීම් වැළැක්වීම හරහා ගුවන් ගමන්වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගැනේ.
ගුවන්තොටුපළ කළමනාකරණයේදී තිරසාර පාරිසරික භාවිතයන් ශක්තිමත් කිරීම සහ ගුවන් සේවා බලධාරීන් හා වනජීවී විශේෂඥයින් අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා මෙමගින් අවස්ථාව සැලසේ.
මෙම නව සහයෝගීතාව හරහා සංවර්ධන ව්‍යාපෘති සහ ස්වභාවික පරිසරය අතර මනා සමබරතාවක් පවත්වා ගනිමින් මත්තල ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු තිරසාර ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.














