නුවරඑළිය මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා අතරමැදි සහ නවක (Intermediate/Novices) මේස පන්දු ශූරතාවලියේදී තොරතුරු තාක්ෂණ ආයතනයේ (IIT) මුෆද්දල් මුස්තාෆා සහ මහනුවර බාලිකා විද්‍යාලයේ දිනුත්මි බණ්ඩාරගේ ප්‍රමුඛ පෙළේ දස්කම් දක්වමින් ඉහළම ගෞරව දිනා ගැනීමට සමත් වූහ.
මෙහිදී මුෆද්දල් මුස්තාෆා ත්‍රිත්ව විද්‍යාලයේ දනුජ කරුණාරත්න පරාජය කරමින් අතරමැදි පිරිමි තනි ශූරතාව දිනා ගත් අතර, දනුජ කරුණාරත්න පසුව නාවික හමුදාවේ ඩබ්ලිව්.යූ.ටී. දේවප්‍රිය පරාජය කරමින් නවක පිරිමි තනි ශූරතාව හිමිකර ගත්තේය. දිනුත්මි බණ්ඩාරගේ අතරමැදි කාන්තා තනි ශූරතාව මෙන්ම නවක කාන්තා තනි ශූරතාව යන කිරුළු දෙකම දිනාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූවාය. ඇය අතරමැදි අවසන් මහා තරගයේදී මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ප්‍රබානි උමංදා ද, නවක අවසන් මහා තරගයේදී නාවලපිටිය ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ බෂ්මා මර්යම් ද පරාජය කළාය.
මීට අමතරව, වයස් කාණ්ඩ යටතේ පැවති තරගවලදී මහමායා බාලිකා විද්‍යාලයේ රන්තොටුවිල (අවුරුදු 19 සහ 17 බාලිකා), හිල්වුඩ් විද්‍යාලයේ සනුරි රත්නායක (අවුරුදු 15 බාලිකා), සහ මහමායා විද්‍යාලයේ වී.ටී. වික්‍රමසිංහ (අවුරුදු 13 බාලිකා) ජයග්‍රහණ ලබා ගත්හ. බාලක අංශයෙන් ත්‍රිත්ව විද්‍යාලයේ ධාසිස් හඩිවට්ටගේ (අවුරුදු 19) සහ වතිල අන්දරවැව (අවුරුදු 15 සහ 13) දස්කම් දැක්වූ අතර, කොළඹ හින්දු විද්‍යාලයේ එම්. අන්ජාන් (අවුරුදු 17) ශූරතා දිනා ගැනීමට සමත් විය.














