විපක්ෂයේ සිටින දක්ෂ සහ හොඳ පිරිස් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්, රට ඉදිරියට ගෙනයාමට හැකි සැබෑ වැඩකාරයන් සිටින්නේ සමගි ජන බලවේගය (සජබ) සතුව පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. සජබ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
බලයට පත්වීමට පෙර විපක්ෂයේ සිටින්නේ වංචනිකයන් සහ දූෂිතයන් බව පැවසූ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ “මල් පැළ” අද වන විට “නිදිකුම්බා පැළ” බවට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය. ආණ්ඩුවේ සිටින 159 දෙනාගෙන් බහුතරයකට කිසිදු පළපුරුද්දක් හෝ වැඩ කිරීමේ හැකියාවක් නොමැති බව ආණ්ඩුවේම ප්‍රකාශවලින් පැහැදිලි වන බවත්, පාලනාධිකාරියේ පවතින මෙම තීන්දු ගැනීමේ දුර්වලතාව නිසා සමස්ත ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ලැබෙන්නේ රට වැටුණු තැනින් ගොඩ ඒමට තාවකාලික සහනයක් පමණක් බව පෙන්වා දුන් මුජිබර් රහුමාන් මහතා, එතැනින් එහාට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හෝ ලෝකය සමඟ ඉදිරියට යෑමට අවශ්‍ය නිර්මාණශීලී අදහස් හා ගෝලීය දැනුම වත්මන් රජයට නොමැති බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
















