ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා අද (01) සිය අදහස් පළ කළේය.
එරාන් වික්‍රමරත්න මහතා වැනි විපක්ෂයේ දක්ෂයෙකුට මෙම වගකීම පැවරීම හරහා, ජාතික ජන බලවේගය තුළ මෙවැනි තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයන් නොමැති බව ආණ්ඩුවම පිළිගෙන ඇති බව මූජිබර් රහ්මාන් මහතා සඳහන් කළේය. ජාතික ජන බලවේගයට වඩා දක්ෂ සහ වගකීම් දැරිය හැකි පිරිසක් සමගි ජන බලවේගය සතු බව රජය විසින්ම මෙවැනි පත්වීම් හරහා සනාථ කර ඇති බව හෙතෙම අවධාරණය කළේය.
එරාන් වික්‍රමරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති බවත්, ඔහු ක්‍රීඩාව සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.
සුදුසු කාර්යය සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේදී ආණ්ඩුවට තම පක්ෂයේ සහාය පැතීමට සිදුවීම විශේෂත්වයක් බව මූජිබර් රහ්මාන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














