මියන්මාරයේ නව ජනාධිපති මින් අවුන් හ්ලියැන්ග් විසින් සිරකරුවන් 4,335 දෙනෙකු සඳහා පොදු සමාව ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය අද (17) වාර්තා කළේය. මියන්මාරයේ අප්‍රේල් මාසයට යෙදෙන නව වසර නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති අතර, පසුගිය මාස හයක කාලය තුළ ක්‍රියාත්මක වූ තෙවන පොදු සමාව මෙයයි.
නිදහස් කිරීමට නියමිත පිරිස අතර විදේශිකයන් 179 දෙනෙකු ද සිටින අතර ඔවුන්ව එරටින් පිටුවහල් කිරීමට නියමිතය. මීට අමතරව මරණ දඬුවම නියම වී සිටි සිරකරුවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙසත්, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් වසර 40ක සිරදඬුවම් ලෙසත් ලිහිල් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, නිදහස් කරන පුද්ගලයන්ගේ නාම ලේඛනය මෙතෙක් ප්‍රසිද්ධ කර නැත.2021 වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු දේශපාලන චෝදනා මත පුද්ගලයන් 30,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. ඒ අතර මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූ කී සහ හිටපු ජනාධිපති වින් මයින්ට් ද වන අතර, සූ කී මහත්මිය මේ වන විට වසර 27ක සිරදඬුවමක් විඳිමින් සිටියි. මෙම පොදු සමාව යටතේ දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.














