මියන්මාරයේ හමුදා පාලනය යටතේ සිරගත කර සිටින එරට හිටපු නායිකා අවුන් සාන් සූ කී (Aung San Suu Kyi) ගේ සිර දඬුවම හයෙන් එකකින් (one-sixth) ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බව ඇයගේ නීතිඥවරයා සිකුරාදා ප්‍රකාශ කළේය.
80 වැනි වියේ පසුවන සූ කී මහත්මිය වංචා, දූෂණ සහ රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීම් ඇතුළු චෝදනා රැසකට වරදකාරිය කරමින් වසර 27ක සිර දඬුවමක් විඳිමින් සිටියාය. ඇයගේ පාර්ශවය පවසන්නේ මෙම සියලු චෝදනා දේශපාලන අරමුණින් එල්ල කරන ලද ඒවා බවයි.
මියන්මාර නව වසර වෙනුවෙන් ජනාධිපති මින් අවුන් හ්ලයිං විසින් සිරකරුවන් 4,335 දෙනෙකුට පොදු සමාව ලබා දීමට තීරණය කර ඇති අතර, සූ කී මහත්මියගේ දඬුවම ලිහිල් කිරීම ද මීට සමගාමීව සිදුව ඇත. මෙය පසුගිය මාස හය තුළ රජය විසින් ලබා දුන් තෙවන පොදු සමාවයි.
සිර දඬුවම ලිහිල් කළද, ඇයට ඉතිරි දඬුවම් කාලය නිවාස අඩස්සියේ (House arrest) සිට ගෙවීමට අවසර ලැබෙන්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව ඇයගේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
සාමාන්‍යයෙන් මියන්මාරයේ සෑම වසරකම ජනවාරි මාසයේ නිදහස් දිනය සහ අප්‍රේල් මාසයේ උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට සමාන වූ ඔවුන්ගේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙවැනි පොදු සමාවන් ලබා දීම සිදු කෙරේ.














