කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාකොළගනේ ප්‍රදේශයේ හෙක්ටයාර 682ක භූමි ප්‍රදේශයක් “නාකොළගනේ අභයභූමිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන අනුව මෙම පියවර ගැනීමට නියමිතය. දිගු කලක් වනාන්තර ලෙස පැවති අක්කර 1,500කට ආසන්න භූමි ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික භෝග වගාව, ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි කටයුතු සඳහා යොදාගෙන තිබූ බව සඳහන් වේ.
මෙම කැලෑ එළිකිරීම් හේතුවෙන් පාරිසරික හානි සිදුවීම සහ වයඹ පළාතේ අලි–මිනිස් ගැටුම උග්රවීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි. එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එළිකරන ලද හෙක්ටයාර 55ක භූමි ප්‍රමාණයද ඇතුළුව අදාළ ප්‍රදේශය අභයභූමියක් හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කර තිබේ.
එම නියෝගය අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ සමීක්ෂණයකින් පසු හෙක්ටයාර 682ක භූමි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එකඟතාව මත පාලුකඩවල වැවේ උපරිම ජල සීමාවද ඇතුළත් කර මෙම ප්‍රදේශය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.














