හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම අද (01) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ, අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට වරදකරු වීම හේතුවෙන් සිය සේවාදායකයා දැනටමත් බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් විඳිමින් සිටින බවයි. එවැනි තත්ත්වයක් තුළ, එකම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවත් නඩුවක් ගොනු කිරීම නීතියට පටහැණි බවත්, එබැවින් එම චෝදනා පත්‍රය අවලංගු කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. මහාධිකරණ නඩු විභාගයේදී මතු කළ මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මස 17 වන දින යළි කැඳවන ලෙස නියෝග කළේය.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීම මගින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
















