දිවයිනේ රජයේ රෝහල් පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර තිබේ. මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල්වල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, මහඔය, දෙහිඅත්තකණ්ඩිය සහ පොතුවිල් යන මූලික රෝහල්වල බාහිර රෝගී අංශ, වාට්ටු, ඖෂධාගාර සහ රසායනාගාර ඇතුළු අංශ රැසක වත්මන් තත්ත්වය ඒ මහතාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය.
රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවලදී සේවක හිඟය, ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඖෂධ සැපයුම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු වූ අතර එම ගැටලුවලට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගත්තේය. ප්‍රදේශයේ ජනතාවට මෙන්ම එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ද විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.














