වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (අප්‍රේල් 21) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කොමිසම කළ දැනුම්දීමකට අනුව අද උදෑසන එහි පෙනී සිටි ඒ මහතාගෙන් ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙලෙස කරුණු විමසා ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පත්කළ බාහිර විමර්ශන කමිටු වාර්තාවක් මත පදනම්ව චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඔහු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ නඩුව මේ දිනවල විභාග වෙමින් පවතී.
මේ අතර, චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයාට එරෙහිව ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද කොමිසම මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.














