ගෝලීය යුදමය වාතාවරණය හමුවේ පොහොර මිල ඉහළ යාමේ අවදානම පාලනය කරමින් ගොවි ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. රජය මැදිහත් නොවූයේ නම් වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 25,000 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැනට එක් පොහොර මිටියක් වෙනුවෙන් රජය රුපියල් 5,000කට වැඩි පිරිවැයක් දරමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 9,900ක සහන මිලට ලබා දෙන බව තහවුරු කළේය.
පොහොර හිඟයක් පවතින බවට පැතිර යන සැකය බැහැර කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඩී.එස්.පී. (TSP) පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගබඩාවල පවතින බවයි. යුරියා පොහොර සම්බන්ධයෙන් ද ගැටලුවක් නොමැති බවත්, පසුගිය මාසයේ සහ පසුගිය සතියේ මෙට්‍රික් ටොන් 25,000 බැගින් වූ යුරියා නැව් දෙකක් මෙරටට පැමිණි බවත් ඔහු හෙළි කළේය. මේ වන විට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මෙන්ම විවෘත වෙළඳපොළේ ද ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බවත්, කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
















