රජය තුළ සිදුව ඇති ගල් අඟුරු වංචාව සහ දූෂණ සම්බන්ධයෙන් වගකීම භාරගැනීම වෙනුවට, ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සිය වැරදි වහගැනීමට නිලධාරීන් බිලි දෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. අද (20) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවලින් පවා කරුණු අනාවරණය වී ඇති බවත්, හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා තෙවරක් පාර්ලිමේන්තුවට පැමිණි බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩපණ කර ඩීසල් මාෆියාවකට ඉඩ දී ඇති බවත්, ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගෙන ජනතාව මත බදු බර පටවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව තවමත් අනාථ කඳවුරුවල පසුවන අතර, ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රජය සිය නොහැකියාව වසා ගැනීමට විපක්ෂය මර්දනය කරමින් සිටින බව ද ඔහු චෝදනා කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බවත්, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාව ප්‍රශ්න කිරීමට යොදවා ඇත්තේ අදාළ වාර්තා සඟවාගෙන සිටි පුද්ගලයන්ම බවත් ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන සැබෑ තොරතුරු සොයන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජාතික ලැයිස්තු සාමාජික ඊබ්‍රාහිම් මහතාගෙන් ප්‍රශ්න කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.














