ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
එයාර් බස් (Airbus) ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයගේ නම් සඳහන් කරන ලෙස බලධාරීන් විසින් කපිල චන්ද්‍රසේන මහතාට බලපෑම් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. මියයාමට පෙර චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ බව කියන දිවුරුම් ප්‍රකාශයක ද තමන්ට එල්ල වූ මෙම බලපෑම් සහ තර්ජන පිළිබඳව සඳහන් කර ඇති බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බවත් ඔහු අවධාරණය කළේය. දේශපාලන අවශ්‍යතා මත සාක්ෂි ගොනු කිරීමට උත්සාහ කිරීම මගින් මෙවැනි ඛේදවාචක සිදුවන බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.














