දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වී වෙනත් පක්ෂයකට මාරුවීම තමන් අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. පක්ෂ මාරු කරන දේශපාලනඥයන්ට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒම සුදුසු බව ද හෙතෙම පෙන්වා දෙයි. හේවාහැට දමුණුමුල්ල පුරාණ විහාරයේ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
දේශපාලන පක්ෂ කඩා බිඳ දමා වෙනත් බලවේග ගොඩනැඟීමේ ආනිසංස තමන් විඳ ඇති බවත්, පක්ෂය 3% ට බැස්සේ එබැවින් බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. තවත් පක්ෂයක් විනාශ කර බලවේග සෑදීම තම අරමුණ නොවන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව ජනතාවට එරෙහිව කරන කටයුතුවලදී දිගින් දිගටම හඬ නඟන බවත්, පාක්ෂිකයන් ඒකරාශී කරමින් තම පක්ෂය ශක්තිමත් කිරීමට ඉදිරියට යන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.















