මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය බිඳ දමා ඇති බවත්, එම කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.
එහිදී තරුණ පරපුර යහපත් ලෙස ගොඩනැඟීමේදී තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන ශාසනික සහ සමාජයීය මෙහෙවර ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. උන්වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සකස් කළ “දිවි මං සදහම්” කෘතිය සහ විහාරස්ථානයේ පරිගණක යෙදුම එළිදැක්වීම ද, අභිනව ධර්මශාලාව ඇතුළු විහාරාංග කිහිපයක් විවෘත කිරීම ද මීට සමගාමීව සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, ආදි වාසී නායක වන්නිලැ ඇත්තෝ සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.















