වත්මන් රජය ජනතාව පිළිබඳව සංවේදී නොවී, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ආරක්ෂා කරමින් ඔවුන්ට වාසි සහගත වන අයුරින් තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ වැඩිම බොරු ප්‍රමාණයක් පවසා බලයට පැමිණි වත්මන් රජය, මේ වන විට ජනාධිපති, අගමැති සහ ඇමතිවරුන් හරහා දිගින් දිගටම ජනතාව රවටන බවයි. රටේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින බවත්, අසීමිත බදු බරක් ජනතාව මත පටවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් 350කට ලබාදුන් පොහොර මිටිය අද රුපියල් 18,000ත් 20,000ත් අතර මිලකට ඉහළ ගොස් ඇති අතර, වී කිලෝවක මිල රුපියල් 100ත් 110ත් අතර අවම මට්ටමක පැවතීම නිසා දේශීය ගොවියා විනාශ වෙමින් පවතින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එසේම රට තුළ කර්මාන්තශාලා ශීඝ්‍රයෙන් වැසී යමින් පවතින අතර, රජය සේවක අයිතිවාසිකම් වෙනුවට හාම්පුතුන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ පාර්ශවය ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට ලෝක වෙළඳපොළේ වැඩිම ලංසුවට ඩීසල් මිලදී ගැනීම නිසා ඇතිවන පාඩුවද බදු හරහා ජනතාව මත පටවා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මැතිවරණයක් සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින මතභේදයන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ නොහැකියාව හමුවේ ජනතාව මේ වන විට තමන් වටා ඒකරාශී වෙමින් සිටින බවයි.
















