ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ පස්වන සහ හයවන සමාලෝචන අවසන් කිරීමෙන් පසු, රජය සහ මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපිය (Letter of Intent) ප්‍රසිද්ධ කර තිබේ. මැයි 13 දිනැතිව ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුත් මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය පිළිබඳ කැපවීම් යළි තහවුරු කර ඇත.
2024 සහ 2025 වසරවලදී මෙරට ආර්ථිකය 5%ක වර්ධනයක් වාර්තා කර ඇති බවත්, රාජ්‍ය ආදායම් එකතු කිරීම සහ විදේශ සංචිත ශක්තිමත් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති බවත් මෙම ලිපියේ සඳහන් වේ. ‘දිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බලපෑම් කළමනාකරණය කරමින් රජය සිය මූල්‍ය ඉලක්ක පවත්වා ගැනීමට කැපවී සිටී.
ඉන්ධන සහ විදුලි බලය සඳහා පිරිවැය පියවන මිල (cost-recovery pricing) ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය යළි අවධාරණය කර ඇත. දැනට පවතින තාවකාලික සහනාධාර සැප්තැම්බර් අවසානය වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ඉලක්කගත සුභසාධන වැඩසටහන් මගින් සහාය ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම සමාලෝචන අවසන් කිරීමත් සමඟ අනුමත වූ SDR මිලියන 508ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක් පමණ) ක්ෂණිකව ලැබීමට නියමිත අතර, එය මෙතෙක් IMF වෙතින් ලබාගත් මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ නංවයි.
















