රජය විසින් රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණයට ලබාදීමේ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, එය හාස්‍යයට කරුණක් බවයි. “නිකන් හරි මේ හාල්වලට අදාළ ණය මුදල ගෙව්වේ නැත්නම්, අන්තිමට වෙන්නේ ගෙවල්වල තියෙන බත් මුට්ටියත් උස්සන් යන එකයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.
පුත්තලම පැවති ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අසීමිත පොරොන්දු ලබා දී බලයට පත් වූ වත්මන් රජය රාජ්‍ය සේවකයා ද ණයකරුවෙකු කර ඇති බවත්, රටේ සැබෑ ආර්ථික සහ ජීවන වියදම් ප්‍රශ්නවලට විසඳුම් දීමට රජය අසමත් වී ඇති බවත්ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකුගේ කාර්යභාරය ඉටු කරනවා මිස, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හෝ කර්මාන්තශාලා වැසීයාම වැළැක්වීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ බව ඔහු චෝදනා කළේය.
තවද, ඩෙංගු වසංගතය වැනි ක්ෂණික පාලනය කළ හැකි රෝග තත්ත්වයන් පවා නිසි පරිදි කළමනාකරණය කිරීමට රජය අසමත්වී ඇති බවත්, පාලනය ගෙන යාමට නොහැකි විට මර්දනය දියත් කරමින් ආණ්ඩු කිරීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය. අවසාන වශයෙන්, තමන් බලහත්කාරයෙන් ආණ්ඩු කිරීමට උත්සාහ කරනවාට වඩා, රටේ ගොවියා, ධීවරයා සහ තරුණ පරම්පරාව වෙනුවෙන් වහාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
















