විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමන්ගේ කිසිදු සීතල යුද්ධයක් නොමැති බවත්, තම පියවරුන් මෙන්ම තමන් දෙදෙනා දේශපාලනිකව ඍජුව මුහුණට මුහුණ හමුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේදී තමන් නිරන්තරයෙන් සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කළ බවත්, ඔහු දැන් කොළඹට පැමිණ සිටින බවත්ය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සහ පිල්ලෙයාන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන ආකාරය දැඩිව ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, වරෙන්තුකරුවකු තානාපති කාර්යාලයකට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන ඔහුව අත්අඩංගුවට නොගත්තේ මන්දැයි CID ආයතනයෙන් ප්‍රශ්න කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය.
වත්මන් රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර අසීමිත ආර්ථික පීඩනයක් පටවමින් සිටින බවත්, රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තබාගෙන වුවද විදුලි, ජල සහ ඉන්ධන මිල ඉහළ දමමින් ජනතාවට තර්ජනය කර බලයේ සිටීමට උත්සාහ කරන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
















