පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය විසින් සිදුකරන විමර්ශන සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවේ තබාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරමින්, විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වන නාමල් රාජපක්ෂ (Namal Rajapaksa) මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි (Suresh Sallay) මහතා බන්ධනාගාරගත කර ඇති ආකාරය සහ ඔහුට සැලකීමේදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ මතු කළ කරුණු අතිශය කණගාටුදායක බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ඔහු සෘජුවම අවධාරණය කරන්නේ සුරේෂ් සලෙයි මහතා සාමාන්‍ය මහේස්ත්‍රාත් නියෝගයක් මත රිමාන්ඩ් භාරයේ පසුවන්නෙකු නොවන බවත්, ඔහුව රඳවා තබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බවත්ය. මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව වසර ගණනාවක් තිස්සේ වීදි බැස උද්ඝෝෂණය කළ සහ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් රැසක්, සලෙයි මහතා මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පවත්වන මෙම අද්භූත නිහඬතාවය හරහා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වන බව හෙතෙම පවසයි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතු වුවද එය දේශපාලන බලපෑම්, පක්ෂපාතීත්වය හෝ තේරීම් සහගත ක්‍රමවේදයකින් තොරව සිදුවිය යුතු බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු බවට නම් කරන ලද ඇතැම් නිලධාරීන්ම අද දින වත්මන් විමර්ශන මෙහෙයවීමට කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බවද සඳහන් කරයි. විපක්ෂය ලෙස තමන් කිසිදු විමර්ශනයකට විරුද්ධ නොවන නමුත්, දේශපාලන උවමනාවන් මත සිදුකරන මෙවැනි පක්ෂපාතී පරීක්ෂණ හරහා පාස්කු වින්දිතයන්ට කිසිදා සැබෑ යුක්තියක් ඉටු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
















