දිවියෙන් සමුගත් මෙරට සංස්කෘතික ස්වර්ණමය යුගයක සලකුණ වූ විශාරද නන්දා මාලිනී මහත්මිය, ජීවිතයේ මුල් යුගයේදී තමා මුහුණ දුන් අමතක නොවන අත්දැකීමක් සහ තම මවගෙන් ලැබුණු ජීවන ආදර්ශ පිළිබඳව මීට පෙර පුවත්පත් සාකච්ඡාවකදී මෙලෙස සිහිපත් කර තිබුණි.
කොටහේන කාසෙට්ටි වත්තේ ලයින් ගෙවල් පේළියක, දරුවන් නම දෙනෙකුගෙන් යුත් අතිශය දුප්පත් පවුලක ඇය හැදී වැඩුණාය.
> “මම දවසක් පුංචි කමට කඩේ මුදලාලිගෙන් ලූණු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ගෙදර ආවා. අම්මා ලූණු කොහෙන්ද කියලා ඇහුවම මම ඇත්තම කිව්වා. අම්මට තරම් තදින් කේන්ති ගිය දවසක් මට මතකයක් නැහැ. ඇය අපිට කවදාවත්ම නියපිටින් පහරක් ගහලවත් නැහැ. ඒත් එදා අම්මා මහා කේන්තියෙන් මගේ අතින් අල්ලාගෙන පාර දිගේ බැන බැන මාව එක්කගෙන කඩේට ගියා. ‘මුදලාලි සමාවෙන්න මේ කෙල්ල ලූණු ගෙඩි තුනක් හොරකම් කරලා බලන්න මේ දරුවා හැදෙන හැටි’ කියලා අම්මා ලූණු පෙට්ටියට මගේ අතින් උදුරලා දැම්මා,” යනුවෙන් ඇය අතීතය සිහිපත් කළාය.
මවගේ මෙම දැඩි ක්‍රියාව නිසා තමාට වැරදි පූර්වාදර්ශයක් ලැබීම වැළකී ගිය බවත්, එදා මෙදා කවදාවත් අන්සතු දෙයක් හොරෙන් ලබා නොගැනීමට එය ජීවිතයට විශාල පාඩමක් වූ බවත් ඇය පෙන්වා දුන්නාය. ජීවිතයේ චාම් බව, සියල්ල විඳ දරා ගැනීම, උපේක්ෂාව සහ අරපිරිමැස්ම යන ගුණාංග තමාට උරුම වූයේ ඒ අම්මාගෙන් බව විශාරද නන්දා මාලිනී මියයන තෙක්ම කෘතඥපූර්වකව සිහිපත් කළාය.
















