ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන තම සැමියා රඳවා තබා ගැනීමට එරෙහිව දියත් කළ උපවාසයක් හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර විශේෂ ශල්‍යකර්මයක් මගින් හෘද ස්පන්දනය පාලනය කරන උපකරණයක් (ICD) සවි කර ඇති බවයි. එම නිසා පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා, රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසත්, අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත් ඇය එම ලිපියෙන් ඉල්ලා සිටී.
















