වර්තමානයේ ලෝක පරිමාණයෙන් පවතින දැඩි යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරි අනාගතය අතිශය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) විශේෂ රැස්වීමකට එක්වෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් වත්මන් ගෝලීය දේශපාලන හා යුද අර්බුදයන් මෙරට ආර්ථිකයට එල්ල කරන බලපෑම පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබීය.
ගෝලීය වශයෙන් පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය තවදුරටත් දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාව වැනි රටවල් වඩාත් අවදානම් සහගත බරපතළ තැනකට පත්වන බව පෙන්වා දුන් අධිපතිවරයා, ලෝක දේශපාලනික සිදුවීම් ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් ඉදිරි මාස තුනක කාලය පිළිබඳව හෝ ස්ථිර ආර්ථික පුරෝකථනයන් (Forecasts) සිදු කිරීම අතිශය දුෂ්කර වී ඇතැයි කියා සිටියේය. ඩොලර් බිලියන 700ක දැවැන්ත විදේශ සංචිතයක් සතු ඉන්දියාව පවා පවතින අර්බුද හමුවේ තම රටේ ඉන්ධන පාරිභෝජනය වහාම සීමා කිරීමේ අවශ්‍යතාව පසුගිය සතියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පෙන්වා දී ඇති බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී මතක් කර දුන්නේය. මෙහිදී අදහස් දැක්වූ වැඩබලන සභාපති රවුෆ් හකීම් මහතා පෙන්වා දුන්නේ, ඉන්දියාව දැනටමත් සිය රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමවේද වෙත යොමු කරමින් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ද වහාම ක්‍රියාත්මක වී එවැනි පූර්ව ආරක්ෂිත ආර්ථික සහ කළමනාකරණ පියවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.















