අභ්‍යවකාශ කර්මාන්තය සඳහා අවශ්‍ය කුසලතාපූර්ණ තාක්ෂණික ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් නාසා ආයතනය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ‘NASA Aerospace Skilled Technical Workforce Hubs’ (NASA State Hubs) නමින් හඳුන්වන මෙම නවතම මුලපිරීම යටතේ ප්‍රාන්ත හතක පිහිටි ආයතන වෙත දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10.5 ක මුදලක් ප්‍රදානය කර ඇත.
චන්ද්‍රයා වෙත යළි මිනිසුන් රැගෙන යාමේ සහ අඟහරු වෙත ළඟා වීමේ අනාගත මෙහෙයුම් සඳහා වෙල්ඩර්වරුන්, විදුලි කාර්මිකයන්, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් (machinists) වැනි ඉහළ පුහුණුව ලත් තාක්ෂණික ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙම මධ්‍යස්ථාන මගින් කර්මාන්තශාලා සේවායෝජකයන්, ප්‍රජා විද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන එකම වහලක් යටට ගනිමින් සිසුන්ට අවශ්‍ය පුහුණුව ලබා දී සෘජුවම අභ්‍යවකාශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමට නියමිතය.
මෙම ප්‍රදානයන් ලබාගත් ආයතන 7 වන ඇන්ටෙලෝප් නිම්න ප්‍රජා විද්‍යාල දිස්ත්‍රික්කය (කැලිෆෝනියා), ජෝර්ජියා ටෙක් පර්යේෂණ සංස්ථාව, මිනසෝටා ප්‍රාන්ත විද්‍යාල සහ විශ්වවිද්‍යාල, දකුණු යුටා විශ්වවිද්‍යාලය, ස්පේස් ෆ්ලොරිඩා (Space Florida), කොලරාඩෝ හි අරපහෝ ප්‍රජා විද්‍යාලය සහ ටෙක්සාස් අභ්‍යවකාශ කොමිසම යන ආයතන හරහා ඉදිරි වසර තුන තුළ තරුණ තරුණියන්ට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා පුළුල් කරමින් ඇමරිකාවේ අභ්‍යවකාශ අනාගතය සුරක්ෂිත කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.
















