මෙක්සිකෝ නගරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් තානාපති කාර්‌යාල පරිශ්‍රයට අලාභහානි සිදුව තිබේ.
ගාසා තීරයේ රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලට විරුද්ධව සහ පලස්තීනුවන්ට සහය පළ කරමින් “රෆා වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ග” මැයෙන් සංවිධානය කරන ලද මෙම විරෝධතාව උත්සන්න වීමත් සමඟ උරණ වූ පිරිසක් තානාපති කාර්‌යාලය දෙසට ගිනි බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කරමින් එහි කොටස්වලට ගිනි තබා ඇත. ආරක්ෂක බැරියර් කඩාගෙන තානාපති කාර්‌යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ බලය භාවිතා කර ඇති අතර, මෙහිදී දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
ගාසා තීරයේ සිදුවන යුද ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් මෙක්සිකෝ රජය මීට පෙර දකුණු අප්‍රිකාව විසින් ජාත්‍යන්තර අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව ගොනු කර ඇති නඩුවට එක්වීමට අයදුම් කර ඇති පසුබිමක් තුළ මෙම විරෝධතාව පුපුරා ගොස් ඇත. ජාත්‍යන්තර දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය තානාපති කාර්‌යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනු ලබයි.
















