විශ්වයේ අඳුරු බලශක්තිය (Dark Energy), කළු කුහර (Black Holes) සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ‘බහිරව ග්‍රහලෝක’ (Exoplanets) පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා නාසා (NASA) ආයතනය විසින් සිය අතිනූතන ‘නැන්සි ග්‍රේස් රෝමන්’ (Nancy Grace Roman) අභ්‍යවකාශ දුරේක්ෂය සාර්ථකව ගගනගත කර තිබේ. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස්එක්ස් (SpaceX) රොකට්ටුවක් මගින් මෙය අභ්‍යවකාශගත කෙරිණි.
හබ්ල් (Hubble) සහ ජේම්ස් වෙබ් (James Webb) යන දුරේක්ෂයන්ට වඩා සිය ගුණයක් විශාල දර්ශන පරාසයක් (Field of vision) හිමි මෙම අතිබලවත් දුරේක්ෂය, පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් පිහිටි කක්ෂය වෙත ළඟා වීමට දින 100ක කාලයක් ගත කරනු ඇත. විශ්වයේ මෙන්ම අපගේ ක්ෂීරපථය (Milky Way) මන්දාකිණිය තුළ ද නව ග්‍රහලෝක දසදහස් ගණනක් සොයාගැනීමටත්, විශ්වයෙන් 95%ක් පමණ වසා සිටින අඳුරු පදාර්ථ හා අඳුරු බලශක්තිය පිළිබඳ රහස් විසඳීමටත් මෙමගින් හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.














