ආගමික, සංස්කෘතික සහ සමාජීය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් ජාතික කැඩෙට් බළකාය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් තරුණ කැඩෙට් හුවමාරු වැඩසටහනක් ජූලි 29 සිට අගෝස්තු 2 වන දින දක්වා ත්‍රිකුණාමලයේදී පවත්වන ලදී.
ජාතික කැඩෙට් බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා මෙරට පළාත් නියෝජනය කරමින් කැඩෙට් නිලධාරීන් සහ සිසුන් එක්වී ඇත.
ත්‍රිකුණාමලය ක්ලැපන්බර්ග් කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම වැඩසටහන සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතික කැඩෙට් පාසල් සිසු සිසුවියන් 350ක් සහ කැඩෙට් නිලධාරීන් 50ක් සහභාගී වූහ. විවිධ ප්‍රජාවන්ට අයත් තරුණ පරපුර අතර එකමුතුකම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙමඟින් මනා අවස්ථාවක් සැලසිණි.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය ත්‍රිකුණාමලය ශුද්ධ වූ ජෝසප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.පී. අරුණ ජයසේකර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්විය. ජාතික කැඩෙට් බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.














