දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා. පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 42ක් හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 27,465ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මෙම මාරාන්තික රෝගය හේතුවෙන් පුද්ගල මරණ 14ක් ද මේ දක්වා වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ. වර්ෂාවත් සමඟ ජලය රැඳෙන ස්ථාන ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.














