ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දින රැලියේදී සිදුකළ ප්‍රකාශයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් විපක්ෂයේ දේශපාලන නායකයින් පිරිසක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම්.ඒ. සුමන්තිරන්, ජී.එල්. පීරිස්, අසාත් සාලි සහ ප්‍රේමනාත් සී. දොලවත්ත ඇතුළු පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපතිවරයා විසින් විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මෙලෙස විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
අදාළ නඩුවේ තීන්දුව මැයි 25 වනදා ලබාදීමට නියමිත බවත්, එම තීන්දුව උණුසුම් අත්පොළසන් නාදයෙන් පිළිගැනීමට සූදානම් වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී කළ ප්‍රකාශය මගින් අධිකරණ තීන්දුවක් පිළිබඳව ඔහුට පූර්ව අවබෝධයක් පවතින බව ගම්‍ය වන බව විපක්ෂය පෙන්වා දෙනවා. මෙය විනිසුරුවරුන් මත පීඩනයක් එල්ල කරමින් මෙරට නීති පද්ධතියේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකාංගයක් වන බලතල බෙදීමේ මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් සිය ලිපිය මගින් අවධාරණය කර සිටිනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වහාම මැදිහත් වන ලෙසත්, මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විපක්ෂ කණ්ඩායම අගවිනිසුරුවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.














