ජාතික ලොතරැයි දිනුම් අංක පදනම් කරගනිමින් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති “කොටු කැපීමේ” නීති විරෝධී සූදු ජාවාරම මැඩපැවැත්වීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාංශයට (CCIB) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවට මහජනතාව පෙළඹීම වැළැක්වීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද එම මණ්ඩලය මඟින් ආරම්භ කර ඇත.
ගම් මට්ටමින් කුඩා මුදල් ප්‍රමාණවලින් ආරම්භ වූ මෙම සූදුව, මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 100,000 දක්වා වූ විශාල ඔට්ටු අල්ලන මට්ටම දක්වා ව්‍යාප්ත වී ඇති බව අනාවරණය වී තිබේ. දිවයින පුරා විසිරුණු කුඩා කණ්ඩායම් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම ජාවාරම මැඩපැවැත්වීම සඳහා අදාළ ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් යොදවා ඇත.
කෙසේ වෙතත්, වත්මන් ජාතික ලොතරැයි මණ්ඩල පනත යටතේ මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව සෘජුව නීතිමය පියවර ගැනීමට ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්, ඊට අදාළ නීතිමය බලතල සපයා ගැනීම සඳහා පනත් සංශෝධන හෝ නව රෙගුලාසි සකස් කරන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ සහාය ඉල්ලා ඇත.
















