ජාතික මුල් ළමාවිය විෂයමාලා රාමුව (ECECF) ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවරක් ලෙස පෙර පාසල් ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහන (Master Trainer TOT) 2026 අගෝස්තු 17 සිට 21 දින දක්වා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබේ.
දින පහක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරන අධ්‍යාපන නිලධාරීන් සහ ප්‍රධාන පුහුණුකරුවන් 120 දෙනෙකු සහභාගී වී සිටි අතර, පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉදිරියේදී පවත්වන පුහුණු වැඩසටහන් ඵලදායීව මෙහෙයවීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ පුහුණුකරණ හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහන ඔස්සේ සිදු කළා.
ජාතික මුල් ළමාවිය විෂයමාලා රාමුවට අනුව සකස් කරන ලද පෙර පාසල් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය, ක්‍රියාකාරකම් යෝජිත සංග්‍රහය, පෙර පාසල් ඉගැන්වීම් ඉගෙනුම් සම්පත් කට්ටලය සහ පුහුණුකරුවන්ගේ අත්පොත යන සංග්‍රහයන් තුළ දක්වා ඇති කරුණු උපයෝගී කරගනිමින් වූ ක්‍රියාකාරකම් මෙහිදී සිදු කෙරුණු අතර, මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අනුකූල වන සේ පෙරපාසල් ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම මෙන්ම, පෙර පාසල් දරුවන්ගේ මොළයේ වර්ධනය වන ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගනිමින්, නිර්මාණාත්මක හා ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමවේදයකට ඔවුන්ව නිවැරදිව යොමු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම්ද මෙහිදී පැමිණ සිටි පිරිසට ලබා දී තිබේ.
















