පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පානීය ජලය හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාව වෙත ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුවන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා පවසයි. අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට එක් පුද්ගලයෙකු සඳහා දිනකට නිකුත් කරන පානීය ජල ප්‍රමාණය වැඩි කර ඇති බවය.
ඒ අනුව, මීට පෙර දිනකට එක් පුද්ගලයෙකු සඳහා නිකුත් කර තිබූ ලීටර් 6ක ජල ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කර ඇති බව පැවසූ ඒ මහතා, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජලය බෙදා හැරීමට අවශ්‍ය ලිං සහ ජල මූලාශ්‍ර ශුද්ධපවිත්‍ර කිරීම සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන යොමු කර ඇති බව සඳහන් කළේය. අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ප්‍රතිපාදන යොමු කර ඇති අතර, ඉදිරියේදී පවතින තත්ත්වයන් මත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන මුදා හැරීමටද බලාපොරොත්තු වේ.
සියලු සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සිදුවන බැවින්, පානීය ජලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















