විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ අත්අඩංගුවට ගනු ලබන විෂ මත්ද්‍රව්‍ය කිසිදු ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳවයි. එම නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, කමිටුව විසින් යෝජිත නව නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කෙරුණි. මෙම නව නීති සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මීට අමතරව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.














