ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලිකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රථම වරට පැවැත්වෙන ජාතික බාලදක්ෂ පොසොන් කලාපය පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජාතික බාලදක්ෂ පොසොන් කලාප කමිටුවේ නියෝජිතයන් අතර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එළඹෙන ජුනි 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත මෙම පොසොන් කලාපය, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම කේන්ද්‍ර කර ගනිමින් මෙම පොසොන් කලාපය ක්‍රියාත්මක වනු ඇත. ආගමික ප්‍රබෝධය සහ සංහිඳියාව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන් මාලාවට පොසොන් තොරණ, වෙසක් පහන් කූඩු, මිහින්තලා අනුරූ, භක්ති ගීත වැඩසටහන් සහ දන්සල් ඇතුළු ආගමික සහ සංස්කෘතික අංග රැසක් ඇතුළත් වේ.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී. සී. ජයදේව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (දහම් පාසල්) වසන්ත කුමාර ලියනගේ, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. ඒ. එස්. කාංචනා ගුණවර්ධන සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් යූ. පී. එස්. ඒ. පියදාස යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනුග්‍රාහක සමාගම්වල නියෝජිතයෝ සහභාගි වූහ.
















