“ඩිට්වා” (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇත. වතු නිවාස 77ක් සහ ග්‍රාමීය නිවාස 507ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අධි අවදානම් සහිත නිවාස ඇතුළුව පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතු බව හඳුනාගෙන තිබේ. මෙම ප්‍රතිපදිංචි කිරීම් සඳහා යෝජිත රජයේ ඉඩම් පෞද්ගලික සමාගම් සන්තකයේ පවතී නම්, ඒවා වහාම නිදහස් කරගෙන නිවාස ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ජීවනෝපාය අහිමි වූවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිවාස කුලී ආධාර අවශ්‍ය පිරිස් සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය ජනාධිපතිතුමා විසින් විමසා බලන ලදී. විශේෂයෙන් ගංවතුර හා නායයෑම් හේතුවෙන් වගාබිම්වල තැන්පත් වී ඇති වැලි සහ ගල් ඉවත් කිරීම සඳහා ගොවි සංවිධාන හරහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ද මෙහිදී තීරණය විය.
ආපදාවෙන් හානියට පත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග 21ක වැඩකටයුතු මේ වසර තුළ නිම කරන ලෙසත්, පළාත් පාලන ආයතන සතු මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇස්තමේන්තු වහාම ඉදිරිපත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා, මේ වසර අවසන් වීමට පෙර සුළි කුණාටු විනාශයෙන් දිස්ත්‍රික්කය මුදාගෙන, ලබන වසරේ සිට සාමාන්‍ය සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට සූදානම් විය යුතු බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, මහජන නියෝජිතයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වූහ.














