ජාතික විජයග්‍රහණයේ 17 වන සැමරුම වෙනුවෙන් රණවිරුවන් සැමරීම සහ මවුබිමේ ඒකීයභාවය සපථ කිරීම අරමුණු කරගත් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (06) පෙ.ව 10.30 ට බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මැයි 19 වන දිනට යෙදෙන මෙම සැමරුම නිමිත්තෙන් “විජයග්‍රහණයේ සතිය” තුළ සෑම නිවසකම සහ කාර්යාලයකම ජාතික කොඩිය ඔසවන ලෙස මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.පී.කේ. දසනායක මහතා අවධාරණය කළේ 2009 වසර යනු වසර තිහක යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාවට දෙවැනි නිදහස ලබා දුන් වර්ෂය බවයි. රණවිරු නාමය අවතක්සේරු වීමට ඉඩ නොතබා මෙවර සැමරුම සඳහා අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයාගේ සහභාගීත්වයෙන් යුත් රාජ්‍ය උත්සවයක් පැවැත්විය යුතු බව ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කළ 26,000 ක් පමණ රණවිරුවන් වෙනුවෙන් නිසි උපහාර දැක්වීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කළේ 2009 ජයග්‍රහණය නිසා රටේ භූමියෙන් සහ මුහුදු සීමාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් යළි ආර්ථිකයට එක් කර ගැනීමට හැකි වූ බවයි. යුද්ධය අවසන් වීම නිසා සංචාරක කර්මාන්තය සහ ධීවර සම්පත යළි හිමි වූ අතර, ජනතාව තුළ පැවති මරණ බිය සහ සැකය දුරු වී නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබුණු බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, වත්මන් රජය මෙන්ම විපක්ෂය ද මෙම ජයග්‍රහණය පාවාදීමට කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.
ආරක්ෂක අංශවල නායකයින් පත් කිරීමේ ක්‍රියාවලියට ඇතැම් ආගමික පාර්ශවයන් මැදිහත් වන බවට ද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී දැඩි විවේචනයක් එල්ල කළේය. මීට අමතරව, මධ්‍ය මණ්ඩල සභික ප්‍රශාන් වීරබාහු මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ නායකයා අනෙකුත් ජාතීන්ගේ උත්සව සඳහා දක්වන උනන්දුව සිංහල බෞද්ධ උත්සව සම්බන්ධයෙන් නොදක්වන බවයි. මෙම සැමරුම පක්ෂයක උත්සවයක් නොව රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට වගබලා ගන්නා ලෙස සියලු නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටියහ.














