ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ (22) පවත්වා තිබෙනවා. පූනනිච්චිමුනායි සහ වාලච්චේනේ ධීවර වරායන් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා.
එහිදී දියේ ගිලීමේදී ප්‍රථමාධාර ලබාදීම, රුධිර වහනය පාලනය, මූලික ජීවිතාරක්ෂක ක්‍රම, සර්ප දෂ්ටන සඳහා මූලික ප්‍රතිකාර, තුවාල කළමනාකරණය සහ රෝගීන් ආරක්ෂිතව මාරු කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා හෙද කාර්ය මණ්ඩලය විසින් ප්‍රායෝගික පුහුණුව ලබාදී තිබෙනවා. මුහුදේදී හදිසි අවස්ථාවකට මුහුණ දුන් විට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ධීවරයන් දැනුවත් කර තිබුණා.
මීට සමගාමීව බෝ නොවන රෝග වළක්වා ගැනීම, දියවැඩියාව හා අධි රුධිර පීඩනය පාලනය, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, දුම්කොළ හා මත්පැන් භාවිතයෙන් වැළකීම, ශාරීරික ව්‍යායාම සහ මානසික සෞඛ්‍යය පිළිබඳවද දැනුවත් කිරීම සිදුකර තිබෙනවා. ධීවර ප්‍රජාව සඳහා රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම සහ ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීමේ වෛද්‍ය වැඩසටහනක්ද පවත්වා ඇති බව සඳහන්.
















