27 April 2024
#දේශීය

නාවික හමුදාව විසින් කොරෝනා වෛරස් තොරතුරු වසන් කරන්නේ නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට ඇතැම් මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු කොරෝනා වෛරසය ආසාදිත නාවිකයා අප්‍රේල් 22 වන දින හඳුනාගත් දා සිට, වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ රාජකාරි කරන නාවික භටයින් සඳහා නාවික හමුදාව විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පුළුල් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ කොරෝනා වෛරසය පැතිරීම හා සම්බන්ධ සැබෑ තත්වය නාවික හමුදාව විසින් වසන් කරන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

තවද නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගේ කොරෝනා වෛරසය ආසාදිත ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය දැඩි විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවද පැවසීය.

ආසාදිත වුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයින් සොයා ගැනීම තවදුරටත් සිදු කරමින් පවතින අතර, පීසීආර් පරීක්ෂණ මගින් කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇති නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවනු ලැබේ.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කරමින් නාවික හමුදාව කොරෝනා වෛරසය ආසාදනය වුවන් පිළිබඳ කිසිදු තොරතුරක් සඟවා නොගන්නා බව මේජර් ජෙනරාල් ගුණරත්න සදහන් කළේය.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *