වසරේ ගත වූ මාස හතරක කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු 14ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අද (17) ප්‍රකාශ කළේය. එම කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 50,000කට (කෝටි 5,000කට) අධික බව ද ඔහු සඳහන් කළේය
ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ‘දෙනුවන් පුතා’ නමැති බහුදින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට වරායට රැගෙන එන ලදී. එහි තිබී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 161කට වැඩි ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා දෙවිනුවර සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 50ත් අතර පසුවන්නන්ය. මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරාන යාත්‍රාවකින් ලබාගෙන ඇති බවත්, එය විදෙස්ගතව සිටින ‘කුඩු සලිඳු’ නමැති ජාවාරම්කරුට අයත් ඒවා බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. ජාවාරමට ආධාර කළ මිරිස්ස ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සැකකරුවන් දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.














