නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් නව ලක්ෂ තිස් පන්දහසක් (935,000) වටිනා ඖෂධ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින්, කල්පිටිය ඉප්පන්තිව් දූපත් ප්‍රදේශයේ 2026 ජුනි මස 30 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු විය. එහිදී, එම දූපත් ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී, නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ඖෂධ තොගය නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.
තවද, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරු අවුරුදු 35ක් වන කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. එම සැකකරු, ඩිංගි යාත්‍රාව සහ ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
















